දැක්ම

දකුණු ආසියාවේ විශිෂ්ටතම මෝටර් කාර්මික අභ්‍යාස ආයතනය බවට පත්වීම.

මෙහෙවර

ශ්‍රී ලංකාවේ මෝටර් කාර්මික ක්ෂේත්‍රය සඳහා වූ විශිෂ්ටතම පුහුණු මධ්‍යස්ථානයක් ලෙස අවශ්‍ය සම්මත පවත්වා ගනිමින්, මෝටර් කාර්මික හා ඊට අදාල වෘත්තීන් සඳහා ක්‍රමානුකූල ලෙස සංවර්ධනය වූ තාක්ෂණය තුලින්, පුහුණුවන්නන් සඳහා ඉහල මටිට‍‍මේ කාර්ය සාධනයට ලඟාවීමට අදාලව සැකසුනු නවීන පුහුණුව සැපයීම.

හැඳින්වීම

ලංකා-ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය (ලං.ජ.කා.අ.ආ.) ශ්‍රී ලංකාවේ මෝටර් කාර්මික ක්ෂේත්‍රය හා ඊට අදාල අනෙකුත් ක්ෂේත්‍රවල දක්ෂ, නිපුණ කාර්මික පිරිසක් බිහිකිරීමෙහි ලා මූලික වූ වෘත්තීය පුහුණු ආයතනයකි. මෙම ආයතනය ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම.) වේරහැර මධ්‍යම වැ‍ඩපොලට අයත් පරිශ්‍රයේ 1959 වර්ෂයේදී පිහිටුවන ලදී. එම වර්ෂයේදී ජර්මන් රජය හා ශ්‍රී ලංකා රජය අතර ඇතිකරගත් ගිවිසුමක ප්‍රතිඵලයක් වශයෙන් මෙම ආයතනය ආරමිභ කර ඇති අතර මෙහි මූලික අරමුණ වූයේ ලං.ග.ම. බස්රථ නිෂ්පාදනයට සහ අළුත්වැඩියාවට අවශ්‍ය කාර්මිකයින් පුහුණු කිරීමය.

1974 වර්ෂයේදී මෙම ආයතනය මොරටුව වත්මන් පරිශ්‍ර‍‍‍ය වෙත ගෙන එන ලදී. 1976 ‍පෙබරවාරි 29 දක්වා මෙම ආයතනයේ පරිපාලන හා සංවිධාන කටයුතු ජර්මන් අධ්‍යක්ෂකවරයකු සහ එහි කාර්ය මණ්ඩලයේ අධීක්ෂණය යටතේ සිදුකරන ලදී. පසුව මෙහි පරිපාලන කටයුතු ලාංකීය අධ්‍යක්ෂක / විදුහල්පතිවරයකු හා කාර්යමණ්ඩලය යටතට පත්කරන ලදී. 2004 වර්ෂය දක්වා මෙම ආයතනය ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ පරිපාලනය වූ අතර, 2004 වර්ෂයේදී නිපුණතා සංවර්ධන, වෘත්තීය සහ කාර්මික අධ්‍යාපන අමාත්‍යාංශයට පවරාගන්නා ලදී. ඉන් අනතුරුව 2005 වර්ෂයේදී නිපුණතා සංවර්ධන හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතේ හා 2007 පෙබරවාරි මස සිට ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක වූ අතර නැවත 2007 නොවැම්බර් මස 19 වන දින සිට ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ස්වාධීන ආයතනයක් වශයෙන් ක්‍රියාත්මක විය. දැනට ලං.ජ.කා.අ.ආ. යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය යටතේ පාලනය වේ.

පුහුණුවේ ස්වභාවය

ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ (NAITA) පුහුණු වැඩපිළිවෙල යටතේ පූර්ණකාලීන පාඨමාලා පහත ක්ෂේත්‍රයන් ආවරණය කරන අතර එක් එක් පාඨමාලා සඳහා වන කාලසීමාව ඒ ඒ පාඨමාලාව ඉදිරියෙන් සඳහන් කර තිබේ.

මෝටර් කාර්මික ශිල්පී වසර 4
යන්‍‍‍‍‍‍‍‍ත්‍රෝපකරණ වැද්දුම් ශිල්පී (මිල්රයි‍ටි) වසර 4
බල විදුලි ශිල්පී (නඩත්තු) වසර 3 ½
ශීතකරණ හා වායු සමීකරණ ශිල්පී වසර 3 ½
යන්ත්‍රන ශිල්පී (සාමාන්‍ය) වසර 3 ½
ඩීසල් එන්ජින් කාර්මික ශිල්පී වසර 3
වාහන විදුලි ශිල්පී වසර 3
පෑස්සුම් ශිල්පී වසර 3
මෝටර් වාහන බොඩි අළුත්වැඩියා සහ පින්තාරු ශිල්පී වසර 3

සියලුම පුහුණු පාඨමාලාවන් කර්මාන්තශාලා සහ විද්‍යාගාර තුල 80% ක ප්‍රායෝගික පුහුණුවකින්ද පන්තිකාමර තුල 20% ක ‍සෛධාන්තික පුහුණුවකින්ද සමන්විත වේ. සියලුම පූර්ණ කාලීන පාඨමාලා වසර 3 සිට වසර 4 ක කාල සීමාවක් සඳහා වේ.

පෞද්ගලික අංශයේ සේවකයින්ට සහ පාසල් හැරගිය අය සඳහා අර්ධ කාලින පුහුණු යෝජනාක්‍රමය අමතර පුහුණු ක්‍රියාකාරකමක් ලෙස සාමාන්‍ය රාජකාරී කාලයට අමතර වේලාවන්හිදී ක්‍රියාත්මක කරයි. මෙම යෝජනා ක්‍රමය යටතේ කෙටිකාලීන පාඨමාලා 37 ක් සන්ධ්‍යා කාලයේ සහ සති අන්තයේ පැවැත්වේ. මෙම අර්ධ කාලීන පාඨමාලා සඳහා සහභාගිවන්නන්ගෙන් ගාස්තුවක් අයකෙරේ.

විශේෂ පාඨමාලා

ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය විසින් පාරිභෝගික අවශ්‍යතා අනුව සකස් කරන ලද දිවාකාල විශේෂ පුහුණු පාඨමාලා පවත්වනු ලබයි. පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ සංවිධාන ඔවුන්ගේ තාක්ෂණික කාර්ය මණ්ඩලය මෙම වැඩසටහන් මගින් පුහුණු කරවාගනු ලබයි.

මෙසේ අප ආයතනයෙන් නිරන්තර පුහුණු ලබාගන්නා ආයතන අතර ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව. ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකන් එයා ලයින්, සීමාසහිත ඒශියන් ඒවියේෂන් සෙන්ටර් පුද්ගලික සමාගම, සීමාසහිත ස්කයිලයින් එරෝනෝටිකල් ඉංජිනියරින් පුද්ගලික සමාගම, චෙව්රොන් ලුබ්‍රිකන්ට්ස් ලංකා සමාගම, සීමාසහිත ලාෆ් හෝල්ඩින් සමාගම ආදිය වේ.

වැඩිදුර විස්තර සඳහා මෙහි වෙබ් අඩවියේ සඳහන් සම්බන්ධතා තොරතුරු අනුව ප්‍රධාන අභ්‍යාස ඉංජිනේරු අමතන්න.

තක්සේරු කිරීම සහ අවසන් පරීක්ෂණය

පුහුණු කාලසීමාව අවසානයේ පූර්ණ කාලීන සිසුන් අවසාන වෘත්තීය පරීක්ෂණයකට පෙනී සිටිනු ඇත. ඇගයීම් සහ පරීක්ෂණ කිරීම ලං.ජ.කා.අ.ආ. මගින් සහ NAITA ආයතන මගින් සිදු කරනු ලබන අතර නියමිත රෙගුලාසි වලට අනුව මෙම ආයතන 2 මගින් සහතික පත්‍ර ප්‍රදානය කරනු ඇත.

අර්ධ කාලීන පාඨමාලාවන්හි පුහුණුවන්නන්ට ඔවුන්ගේ පාඨමාලා අවසානයේ ලිඛිත සහ ප්‍රායෝගික පරීක්ෂණයක් පවත්වා, ඉන් සමත්වන්නන්ට සහතික පත්‍ර ප්‍රදානය කරනු ඇත.